Notice: Use of undefined constant _COOKIE - assumed '_COOKIE' in /var/www/html/wp-content/themes/sahifa/framework/functions/theme-functions.php on line 1684
බංගලියන්ට පහර දුන් ශ්‍රී ලංකාව අවසන් තරඟයට.. – Cricket Lanka | ක්‍රිකට් සිංහලෙන්
Home / දේශීය පිටිය / බංගලියන්ට පහර දුන් ශ්‍රී ලංකාව අවසන් තරඟයට..

බංගලියන්ට පහර දුන් ශ්‍රී ලංකාව අවසන් තරඟයට..


ආසියානු ක්‍රිකට් සංගමය මෙහෙයවන නැඟීඑන කණ්ඩායම් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා නැඟීඑන ක්‍රිකට් පිල අද සමත් විය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 4 කින් බංග්ලාදේශ නැඟීඑන පිල පරාජය කිරීමට සමත් වූහ.

ශ්‍රී ලංකා නැගී එන පිල ලකුණු 238 ක ජයග්‍රාහි ඉලක්කය ඕවර 48.2 කදී කඩුලු හයක් දැවී සම්පූර්ණ කිරීමට සමත් වූහ. කමිඳු මෙන්ඩිස් ජයග්‍රහණයේ නියමුවා බවට පත්වෙමින් නොදැවී ලකුණු 91 ක් රැස්කිරීමට සමත් විය. කමිඳුගේ සටන්කාමී ඉනිමට හතරේ පහර 9 ක් ඇතුළත් විය.

ෂෙහාන් ජයසූරිය පන්දු රකින්නන්ට බාධා කළේ යැයි වරදට යටතේ දැවී ගිය ක්‍රීඩකයකු ලෙස නම් කිරීමට පාකිස්තාන් සහ ඇෆ්ඝනිස්තාන් විනිසුරුවෝ තීරණය කළහ. ෂෙහාන් ඉදිරියට පැමිණ පහර ගැසීමෙන් පසුව කඩුලු රකින ක්‍රීඩකයා පන්දුව රැගෙන කඩුල්ලට යොමු කළ අතර එයට ෂෙහාන් බාධා කළ බවට විනිසුරුවන් දෙපළ සාකච්ඡා කර තීරණය කළහ.

ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් වන ෂෙහාන් ජයසූරිය සහ කමිඳු මෙන්ඩිස් පස්වැනි කඩුල්ලට ලකුණු 66 ක සම්බන්ධතාවක් පවත්වමින් ජයග්‍රහණයට ශක්තිමත් අඩිතාලමක් දැමූහ.

ශ්‍රී ලංකා පිලේ පළමු කඩුලු තුන 11 වැනි ඕවරයේ දෙවැනි පන්දුව වන විට බිඳ වැටුණි. ආරම්භක පිතිකරු සඳුන් වීරක්කොඩි වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 37 කදී හතරේ පහර 6 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 47 ක් රැස්කරමින් කඩුලු වැටීමේ පාඩුව අවම කළේය.

චාමික කරුණාරත්න දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 31 කට කඩුලු හතරක් දවා ගැනීමට සමත් විය. වමතින් දඟ පන්දු යවන ලසිත් ඇඹුල්දෙණිය ඕවර 10 යේදී ලකුණු 28 ක් පමණක් ලබාදෙමින් බංග්ලාදේශ පිතිකරුවන් පාලනය කළේය.

යසීර් අලී පන්දු 72 කින් ලකුණු 66 ක් රැස්කර සිටියදී චාමික කරුණාරත්නගේ තෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේය. යසීර්ගේ ඉනිමට හතරේ පහර තුනක් සහ හයේ පහරක් ඇතුළත් විය.

නායක නුරුල් හසන් ලකුණු 14 ක් ලබා සිටියදී කවර්ස් ස්ථානයේ පන්දු රකිමින් සිටි හසිත බෝගයගොඩ වෙතට පහරක් ගසමින් ලකුණක් කරා දිවගිය අතර බෝයගොඩ පන්දුව කෙළින්ම කඩුල්ලට යොමු කිරීමෙන් හයවැනි කඩුල්ල බිඳ වැටුණි.

ආරම්භක පිතිකරු මිෂානුර් රහමන් අන්තයක් ආරක්‍ෂාකරගනිමින් පන්දුවට පහර දෙමින් පන්දු 95 කදී හතරේ පහර 7 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 72 ක් රැස්කිරීමට සමත් විය. මිෂානුර් රහමන් සහ යසීර් අලී පස්වැනි කඩුල්ලට පන්දු 67 කින් ගොඩනැගූ ලකුණු 52 ක සම්බන්ධතාව බංග්ලාදේශ පිල ඔසවා තැබීය.

මිෂානුර් රහමන් සහ මොසඩක් හොසේන් (39) සිවුවැනි කඩුල්ලට පන්දු 94 කින් ලකුණු 65 ක සම්බන්ධතාවක් පවත්වමින් සතුටුදායක තත්ත්වයකට ගෙනඒමට සමත් වූහ.

ෂෙහාන් ජයසූරිය ක්‍රියාත්මක වෙමින් අෆීෆ් හොසේන් ලකුණු 8 කට පිටියෙන් ඉවත්කරමින් ලකුණු 41 කට කඩුලු තුනක් බවට පත්කළේය.

දකුණතින් වේග පන්දු යවන චාමික කරුණාරත්න බංග්ලාදේශ පිලේ පළමු කඩුලු දෙක ලකුණු 30 ක් තුළ දවාගනිමින් සාර්ථක ආරම්භයක් ලබාදුන්නේය.

ශ්‍රී ලංකා නැඟීඑන පිලේ නායක සම්මු අෂාන් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහරදීමට බංග්ලාදේශ පිලට ආරාධනා කළේය.
………………………………………………….කෙළිමඩල ඇසුරෙනි……………………………………..


About Isuru Weerarathna

Isuru Weerarathna

Digital Media Entrepreneur.

Check Also

එංගලන්තය ජයග්‍රහණයෙන්, වසර 55 ක වාර්ථාවක් අලුත්වේ…

ටෙස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ අයිතිකරුවන් වුවත් කිසිදාක ශ‍්‍රී ලංකාවේදී නොලද සම්පූර්ණ ටෙස්ට් තරගාවලි  3-0 ජයක් වාර්තා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *