Notice: Use of undefined constant _COOKIE - assumed '_COOKIE' in /var/www/html/wp-content/themes/sahifa/framework/functions/theme-functions.php on line 1684
පියාගේ සිහිනය හඹා යන කෝලි.. – Cricket Lanka | ක්‍රිකට් සිංහලෙන්
Home / ක්‍රිකට් තරු / පියාගේ සිහිනය හඹා යන කෝලි..

පියාගේ සිහිනය හඹා යන කෝලි..


ප්‍රේම්ගේ සහ සරෝජ්ගේ නවදිල්ලි නුවර පිහිටි අලංකාර නිවස එහෙම පිටින්ම සෙල්ලම් බඩුවලින් පිරී තිබුණත්, ඔවුන්ගේ තුන්හැවිරිදි කටකාර පුත්‍රයාගේ සිත ඇදී ගියේ වෙනත් දෙයකටය. ඔහුගේ කැමැත්ත තිබුණේ ක්‍රිකට් පිත්තටය.

දිනක් ක්‍රිකට් පිත්ත අතට ගත් මේ පැහිච්ච කොලු ගැටයා එය හතර අතේ වනන්නට පටන් ගත්තේය. ඉන් නොනැවතී තමාට පන්දු එවන මෙන් පියාට කරදර කරන්නට විය.

කුඩා වියේදි පවා ඔහුගෙන් දිස්වූයේ වයසට වඩා පැසුණු ක්‍රියාකාරී බවකි. ප්‍රේම්ට පුතාට පන්දු යැවීමේ කරදරයෙන් තරමක නිදහසක් ලැබුණේ අවුරුදු 9 වෙද්දී ඔහුව බටහිර දිල්ලියේ ක්‍රිකට් ඇකඩමියට ඇතුළත් කිරීමෙන් පසුවය. ප්‍රේම්ට දිනපතා හවස්වරුවේ ක්‍රිකට් ඇකඩමියට පුතා කැටුව යාමට සිදුවූ බැවින් මේ ආදරණීය පිය පුතු දෙපල අතර බැඳීම තව දුරටත් ශක්තිමත් වන්නට විය. ඇකඩමියේ වැඩිමල් ක්‍රීඩකයන් ඔහුට පන්දු යවද්දී පුත්‍රයාගේ ආශ්චර්යමත් දස්කම් මුවහත් වන්නට පටන්ගෙන ඇතැයි පියාට සිතිණි. කිසිවකුට මේ කුඩා පිතිකරුවා දවාලීමට හැකියාවක් ලැබුණේ නැත.

‘එයා අවුට් වුණේ අම්පයාර්ගේ වැරැදි තීරණයක් නිසා.‘ දිල්ලි කණ්ඩායම සමග සිය පළමු තරගවාරයට එක්වී වසර කිහිපයකට පසුව දවාලීමට කිසිදු අවස්ථාවක් නොදී ලකුණු අනූගණනක් රැස් කර සිටි තම පුත්‍රයාගේ දැවීයාම ගැන ඔහුගේ මව සිහිපත් කරන්නේ එලෙසටය. දේශීය තරග බිමේ තවත් ඉනිමක් අමතක නොවන මතක සටහනක් බවට පත්වී ඇත්තේ එදා ඔහුගේ පියා මෙලොවින් සමුගත් දිනය වූ බැවිනි.

විරාත් කෝලි….!

වර්තමානයේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ විශිෂ්ටතම පිතිකරුවා ලෙසත්, නොම්මර එකේ පිතිකරුවා ලෙසත් මුළුමහත් ක්‍රිකට් ප්‍රජාවේ ආදරයට පාත්‍රවූ ක්‍රීඩකයා ඔහුය. ටෙස්ට් වේවා, එක්දින තරග වේවා, විස්සයි20 තරග වේවා එය ජාත්‍යන්තර තරගයක් නම් විරාත් කෝලිගේ පිත්තෙන් ලකුණු ගලා එන්නේ නිතැතින්මය. නොම්මර දහඅටේ ක්‍රිකට් ජර්සිය ඔහුගේය. කවුරුත් නොම්මර දහඅටේ ක්‍රිකට් ජර්සියෙන් සැරැසී ක්‍රිකට් පිටිය දෙවනත් කරන විරාත් කෝලිගේ පිතිහරඹයෙන් අමන්දානන්දයට පත්වූවත් එම අංකය පිටුපස ඇති කතාව ඉතා සංවේදි එකකි.

විරාත්ගේ පියා මෙලොවින් සමුගත්තේ ඔහුගේ 18වැනි උපන්දිනයට සති කිහිපයකට පසුවය. ඒ වනවිට හදිසි හෘදයාබාධයක් නිසා මාසයක් පුරා ඇඳට වැටී සිටි ප්‍රේම් හරියටම 2006 දෙසැම්බර් මාසයේ 18 වැනිදා පාන්දර 3.00ට ජීවිතයෙන් සමුගත්තේ විරාත්ගේ අතේදීමය. අසාධ්‍ය තත්ත්වයේ පසුවූ ප්‍රේම් වෛද්‍යවරයකු වෙත ගෙනයාමට පවා අවස්ථාවක් නොලැබිණි. ඒ මැදියම් රැයේ ඔවුන්ගේ පිහිටට කිසිවකු පැමිණියේ ද නැත. ගිලන් රියකට දුරකතන ඇමැතුමක් ලබාදුන්නත් එය පැමිණෙද්දි සියල්ල සිදුවී අවසානය.

විරාත් කෝලිගේ නොම්මර දහඅටේ ක්‍රිකට් ජර්සිය පිටුපස ඇති කතාව එයයි.

ඒ වනවිට විරාත් නායකත්වය දැරූ දිල්ලි පිල කර්නාටක ප්‍රාන්ත පිල සමග තරගය පැවැත්වෙමින් තිබිණි. පියාගේ දේහය නිවසේ තිබියදීම ඔහු එම තරගයට ක්‍රීඩා කළේය. පියාගේ අවසන් කටයුතු සඳහා ඔහු එක්වූයේ එම තරගයේ දී ලකුණු අනූ ගණනක් රැස් කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමෙන් පසුවය.

විරාත් කෝලිගේ සෑම කතාවක්ම එවැනි සිදුවීම්වලින් පිරුණු එකක් විය. එහෙත් ඔහුගේ මව කියන ආකාරයට පියාගේ හදිසි වියෝව විරාත්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කළ එකකි.

‘එදායින් පස්සේ විරාත්ගේ ජීවිතය වෙනස් වුණා. එක් රැයකින් ඔහු වඩාත් පරිණත පුද්ගලයෙක් බවට පත්වී සිටියා.‘

‘ඔහු හැම තරගයක්ම බැරෑරුම් ලෙස සිතන්නට පටන් ගත්තා. පිටියට නොබැස බංකුවේ වාඩිවී සිටීම තරම් අකැමැති දෙයක් ඔහුට තිබුණේම නැතිතරම්.‘

‘ඔහු අදටත් හඹා යන්නේ තාත්තාගේ හීනය කියලයි මට හිතෙන්නේ.‘ විරාත්ගේ මව එසේ කියන්නීය.

‘තාත්තා නැතිවුණාම මගේ මුළු ජීවිතයම කඩාගෙන වැටුණා. කිසිම දෙයකට කැමැත්තක් තිබුණේ නෑ ක්‍රිකට් හැරෙන්නට.‘ විරාත් කෝලි අදටත් ඒ සිදුවීම් පෙළ සිහිපත් කරන්නේ දැඩි කනගාටුවකිනි.

‘මම ජීවිතයේ ගොඩාක් දේවල් අත්දැකපු කෙනෙක්. තරුණ කාලේදිම තාත්තා නැතිවීම, පවුලේ ව්‍යාපාර බිඳ වැටීම, අපිට කුලි ගෙදරක ඉන්න සිදුවීම. ඒ කාලේ අපේ පවුලට ගොඩාක් දුක් කරදර තිබුණා. අතමිට සරු වුණේ නෑ කොහෙත්ම. ඒවා මට නැවත නැවත සිහිපත් වෙනවා. තාත්තා තමයි මගේ ක්‍රිකට් ජීවිතයේ මුල්ම ගුරුවරයා. ක්‍රිකට් ගැන කියා නොදුන්නාට එයා මාව කොයිතරම් දිරිමත් කළාද.? මාව වරද්දන්නෙ නැතිව හැමදාම පුහුණුවීම්වලට අරගෙන ගියා. ‘ විරාත් නොනවත්වාම කියාගෙන යයි.

පිත්ත අතට ගත් සැනින් ලොව පුරා පන්දු යවන්නන් භීතියට පත්වූවත් විරාත් යනු කෙතරම් සංවේදි තරුණයෙක්දැයි දන්නේ අතලොස්සකි.

ඔහු පිළිවෙළට වැඩ කරන කෙනෙක් නොවීය. ක්‍රිකට් ආම්පන්න, ඇඳුම් පැළඳුම් දැම්ම දැම්ම තැන්වලය.

‘හැමදෙයක්ම පිරිසුදුව තියාගන්න එක මට මහා විකාරයක් වුණා. මගේ කාමරය එක විදිහට ලස්සනට තියාගන්න එක දැන් නම් මගේ ජීවිතයේ දෛනික රාජකාරියක් වෙලා. ඊළඟට මම කොතැනටද යන්නේ කියන එක. මං කියන්නේ අනාගතයේදී. ඒවා තමයි දැන් මගේ ජිවිතයේ මම හිතන දේවල්. ඒත් ඉස්සර එහෙම නෙවෙයි.‘ ඔහු කියයි.

‘මගේ ආහාර ගැනීමේ පුරුද්ද, පුහුණුවීම්වලට යාමේ පුරුද්ද. ඒවා ඉතා නරක විදිහටයි තිබුණේ. මං මටම කියාගත්තා, ජාත්‍යන්තර ක්‍රීඩකයෙක් විදිහට මෙහෙම වැඩ කරලා හරි යන්නේ නෑ කියලා.‘

දැන් ඔහු තරම් පිළිවෙලට වැඩ කරන ක්‍රීඩකයෙක්. ඔහු තරම් කැපවීමෙන් පුහුණුවීම් කරන ක්‍රීඩකයෙක් තවත් නැති තරම්ය.

මෙරට ක්‍රීඩාලෝලීන්ගේ අදහස 30 හැවිරිදි මේ ක්‍රීඩකයා කුකුල් කේන්ති කාරයෙක් බවය. ඇරත් ශ්‍රී ලංකාවේ ක්‍රීඩාලෝලීන්ට කෝලි පෙන්නන්ටත් බැරිය. නයාට අඳුකොළ ගානය.

ජාත්‍යන්තර ෆෝබස් සඟරාවට අනුව ඔහු මේ වසරේ වඩාත්ම මුදල් උපයාගත් ඉන්දීය ක්‍රීඩකයාය. එම ලැයිස්තුවට අනුව ඉන්දීය ධනවතුන් අතර කෝලිට හිමිවන්නේ දෙවැනි තැනය. එහි පළමු තැන ලැබී ඇත්තේ ප්‍රකට බොලිවුඩ් නළුවකු වන සල්මාන් ඛාන්ටය.

මේ වසරේදී කෝලි උපයාගත් මුදල ශ්‍රී ලංකා රුපියල්වලින් නම් කෝටි 600කට ආසන්නය. ඒ අනුව ඉන්දියාවේ ධනවත්ම ක්‍රීඩකයා වන්නේ කෝලිය.

වාර්තා පිට වාර්තා බිඳ දමමින් සිටියත් ඔහු තවමත් සිය ආදරණීය පියාගේ සිහිනය හඹා යමින් සිටී.

………………………………………….ෆවුස් මොහොමඩ්/දිනමිණ  ඇසුරෙනි……………………………………………..


About Isuru Weerarathna

Isuru Weerarathna

Digital Media Entrepreneur.

Check Also

ඇහැට යටින් ස්ටිකර් ගහගෙන හරහට හිටගෙන පහරදෙන චන්ද්‍රපෝල්ගේ කථාව..

පසන් සංජය සමරතුංග ලියන “දන්න ක්‍රීඩකයෙක් ගේ නොදන්න විස්තර පසා එක්ක!!” ලිපි මාලාවේ සිව්වන ලිපිය.බටහිර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *