Notice: Use of undefined constant _COOKIE - assumed '_COOKIE' in /var/www/html/wp-content/themes/sahifa/framework/functions/theme-functions.php on line 1684
තරඟ දෙක විසඳුමක් නැති වුනත් ජාතික කණ්ඩායමේ හිඩැස් වලට විසඳුම්… – Cricket Lanka | ක්‍රිකට් සිංහලෙන්
Home / දේශීය පිටිය / තරඟ දෙක විසඳුමක් නැති වුනත් ජාතික කණ්ඩායමේ හිඩැස් වලට විසඳුම්…

තරඟ දෙක විසඳුමක් නැති වුනත් ජාතික කණ්ඩායමේ හිඩැස් වලට විසඳුම්…


අන්තර් පළාත් සිවුදින ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම අතර කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රීඩාංගණයේදී පැවැති තරගය විසඳුමකින් තොරව නිමාවට පත්විය.
ජයග්‍රහණ සඳහා ලකුණු 373 ක ඉලක්කයක් හඹාගිය මහනුවර ක්‍රීඩකයෝ තරගය නිමාවන විට කඩුලු 2 ක් දැවී ලකුණු 221 ක් ලබා ජයග්‍රහණයට තවත් ලකුණු 151 ක් පසුපසින් සිටියහ. ඒ වන විට ආරම්භක පිතිකරු මහේල උඩවත්ත ලකුණු 103 ක්ද, නායක නිරෝෂන් දික්වැල්ල ලකුණු 56 ක්ද බැගින් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.
පළමු ඉනිමේදී ලකුණු 3 කින් ශතකය අහිමිකරගත් උඩවත්ත, දෙවැනි ඉනිමේදී පන්දු 137 කින් ශතකය සම්පූර්ණ කළේ හතරේ පහර 11 ක්ද සමගිනි. එහිදී ඔහුගේ ලකුණු රැස්කිරීමේ සාමාන්‍යය 75.18 ක් ලෙස සටහන් විය. පළමු ඉනිමේදී ශතකයක් ලබාගත් දික්වැල්ල, දෙවැනි ඉනිමේදී හතරේ පහර 3 ක් සමග අර්ධ ශතකය සම්පූර්ණ කළේය. ඔවුන් දෙදෙනා එක්ව මහනුවර කණ්ඩායමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ නොබිඳුණ සම්බන්ධතාව ලකුණු 127 කි.
මුලු ලකුණු සංඛ්‍යාව 26 ක් වන විට මහනුවර දෙවැනි ඉනිමේ පළමු කඩුල්ල ලෙස තරංග පරණවිතාන පිටියෙන් ඉවත් කිරීමට ඉෂාන් ජයරත්න සමත් විය. කඩුලු රකින ක්‍රීඩක මනෝජ් සරත්චන්ද්‍ර අතට උඩපන්දුවක් දෙමින් දැවීයන විට පරණවිතාන ලබා සිටියේ ලකුණු 9 ක් පමණි. ලකුණු 30 ක් ලබා සිටි චරිත් අසලංක දැවී ගියේ ජෙෆ්රි වැන්ඩසේගේ පන්දුවක් හමුවේ සරත්චන්ද්‍රගේ ස්ටම්ප් කිරීමකට හසුවෙමිනි.
තෙවැනි දිනය වූ ඊයේ (2 වැනිදා) තරගය නිමාවන විට කඩුලු 7 ක් දැවී ලකුණු 163 ලබා සිටි දඹුල්ල කණ්ඩායමට අද දිනයේදී සිය දෙවැනි ඉනිමට අලුතින් එක්කරගත හැකි වූයේ ලකුණු 93 ක් පමණි. එහිදී දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතක ලබාගැනීමට මිලින්ද සිරිවර්ධන (71) සහ සචිත්‍ර සේනානායක (60) සමත් වූහ. ලකුණු 121 කට කඩුලු 7 ක් බිඳවැටී තිබූ අවස්ථාවේදී 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 119 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ඔවුන් දෙදෙනා දඹුල්ල දෙවැනි ඉනිමේ ලකුණු සංඛ්‍යාව 250 සීමාව කරා රැගෙන ගියහ.
හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක්ද සමග පළමු ඉනිමේදී මෙන්ම දෙවැනි ඉනිමේදීද වේගයෙන් ලකුණු රැස්කරමින් සිටි සචිත්‍ර, ජීවන් මෙන්ඩිස්ගේ පන්දුවක් හමුවේ කසුන් රාජිත අතට උඩපන්දුවක් දෙමින් දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් විය.
දඹුල්ල කණ්ඩායමේ අවසන් කඩුලු 2 ටම හිමිකම් කීමට ප්‍රභාත් ජයසූරිය සමත් වූ අතර ඔහුගේ පන්දුවක් හමුවේ කසුන් රාජිතට උඩපන්දුවක් දෙමින් දැවී යන විට මිලින්ද සඳරුවන්ගේ ඉනිම හතරේ පහර 7 කින් සමන්විත වී තිබිණ. ළහිරු ප්‍රභාත් දැවී ගියේ ප්‍රභාත්ගේ පන්දුවක් කඩුල්ලේ දැවටීම හේතුවෙනි.
දඹුල්ල පළමු ඉනිම – සියලු දෙනා දැවී 480
(දිමුත් කරුණාරත්න 71, අශාන් ප්‍රියංජන් 156, මනෝජ් සරත්චන්ද්‍ර 57, ඉෂාන් ජයරත්න 35, සචිත්‍ර සේනානායක 105, කසුන් රාජිත 89/3, ළහිරු කුමාර 105/3, චාමික කරුණාරත්න 80/2)
මහනුවර පළමු ඉනිම – සියලුදෙනා දැවී 364
(මහේල උඩවත්ත 97, චරිත් අසලංක 30, නිරෝෂන් දික්වැල්ල 112, ප්‍රියමාල් පෙරේරා 62, ළහිරු ගමගේ 71/5, සචිත්‍ර සේරසිංහ 39/2)
දඹුල්ල දෙවැනි ඉනිම – සියලුදෙනා දැවී 256
(දිමුත් කරුණාරත්න 40, සචිත්‍ර සේරසිංහ 37, මිලින්ද සිරිවර්ධන 71, සචිත්‍ර සේනානායක 60, කසුන් රාජිත 49/3, ළහිරු කුමාර 61/3, ප්‍රභාත් ජයසූරිය 39/2)
මහනුවර දෙවැනි ඉනිම – කඩුලු 2 ක් දැවී 221
(මහේල උඩවත්ත නොදැවී 103, චරිත් අසලංක 30, නිරෝෂන් දික්වැල්ල නොදැවී 56)
…………………………………………………………………………………………..
මෙම තරඟාවලියේ ගාල්ල කණ්ඩායම සහ කොළඹ කණ්ඩායම අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැති තරගය අද (2 වැනිදා) ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය.

තරගය නිමාවට පත්වන විට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ගාල්ල කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 177 ක් ලබා සිටි අතර ආරම්භක පිතිකරු ළහිරු මිලන්ත හතරේ පහර 7 ක් සමග ලකුණු 74 ක්ද, පළමු ඉනිමේදී ද්විත්ව ශතකයක් ලබාගත් රොෂේන් සිල්වා ලකුණු 3 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.

මන්දාලෝක තත්ත්වය හේතුවෙන් තේ විවේකයට මඳ වේලාවකට පෙර තරගය නතර කිරීමට සිදුවූ අතර ඉන් පසුව නැවත තරගය ආරම්භ කිරීමට තරම් සුදුසු තත්ත්වයක් නොතිබූ බැවින් එතැනින් තරගය නතර කිරීමට විනිසුරුවෝ පියවරගත්හ. ඒ අනුව තරගයේ අවසන් දිනය වූ අද කොළඹ කණ්ඩායමට යැවිය හැකි වූයේ ඕවර 55 ක් පමණි.

තෙවැනි දිනය වූ ඊයේ (2 වැනිදා) තරගය නතර කරන විට කිසිවකු නොදැවී ලකුණක් ලබා සිටි ගාල්ල කණ්ඩායම අද දිනයේදී සිය දෙවැනි ඉනිමට තවත් ලකුණු 176 ක් එක්කර ගත්තේය. එහිදී ගාල්ල ඉනිමේ මුල් කඩුලු 2 ලකුණු 22 ක් ඇතුළත බිඳදැමීමට විෂ්ව ප්‍රනාන්දු සමත් විය. විෂ්වගේ පන්දු හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් මාදව වර්ධණපුර ලකුණු 8 කටද, ඕෂද ප්‍රනාන්දු ලකුණු 3 කටද පිටියෙන් ඉවත්ව ගියහ.

කෙසේ වුවත් ළහිරු මිලන්ත සහ සදීර සමරවික්‍රම (77) එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 147 ක සම්බන්ධතාවක් ගාල්ල දෙවැනි ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ. ධනංජය ද සිල්වාගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් අතට උඩපන්දුවක් දෙමින් සදීර දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත්විය. පන්දු 139 කට මුහුණදුන් සදීර හතරේ පහර 8 කින් සිය අර්ධ ශතකය සැරසීය.

ගාල්ල පළමු ඉනිම – සියලු දෙනා දැවී 476
(මාධව වර්ණපුර 18, රොෂේන් සිල්වා නොදැවී 231, දසුන් ශානක 95, චතුරංග ද සිල්වා 47, නිසල තාරක 20, අකිල ධනංජය 24, මාලින්ද පුෂ්පකුමාර 19, දිල්රුවන් පෙරේරා 106/3, කවිෂ්ක අංජුල 52/2, ලසිත් ඇඹුල්දෙණිය 147/2)

කොළඹ පළමු ඉනිම – සියලු දෙනා දැවී 333
(ධනංජය ද සිල්වා 66, ළහිරු තිරිමාන්න නොදැවී 125, දිනේෂ් චන්දිමාල් 18, කවිෂ්ක අංජුල 46, ලසිත් ඇඹුල්දෙණිය 24, අකිල ධනංජය 61/3, චතුරංග ද සිල්වා 22/2, මොහොමඞ් ඩිල්ෂාන් 49/2)

ගාල්ල දෙවැනි ඉනිම – කඩුලු 3 ක් දැවී 177
(ළහිරු මිලන්ත 74, සදීර සමරවික්‍රම 77, විෂ්ව ප්‍රනාන්දු 24/2)
……………………………………………………………………….
මෙම තරඟ දෙක තුල ද්විත්ව ශතකයක් රොෂේන් සිල්වා වාර්තා කරගත් අතර සචිත්‍ර සේනානායක,අශාන් ප්‍රියංජන,නිරෝෂන් දික්වැල්ල,මහේල උඩවත්ත,ලහිරු තිරිමාන්න ශතක ලබාගැනීමට සමත් වූ අතර ඉනිමක කඩුලු 5ක් වාර්තා කරන්නට ලහිරු ගමගේ සමත් විය.මෙම තරඟ දෙකේ දක්ෂතා ගැන අවධානය යොමු කරන විට ජාතික කණ්ඩායමේ සිටින ක්‍රීඩකයන් සහ පළමුපෙළ ක්‍රීඩකයන් අතර දක්ෂතාවල හිඩැසක් තිබේ යයි කියවෙන කතාවට නම් පිළිතුරු දෙන්නට පළමුපෙළ ප්‍රබලයන් රැසක් සමත් වී ඇත.


About Isuru Weerarathna

Isuru Weerarathna

Digital Media Entrepreneur.

Check Also

තයිබු ශ්‍රී ලංකා පළමුපෙළ තරඟාවලියට එකතුවේ..

සිම්බාබ්වේ ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ටටෙන්ඩර් තයිබු 2018/2019 පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලියේදී බදුරලිය ක‍්‍රීඩා සමාජය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *