Notice: Use of undefined constant _COOKIE - assumed '_COOKIE' in /var/www/html/wp-content/themes/sahifa/framework/functions/theme-functions.php on line 1684
කුසල් සහ තරංගගේ උත්සාහයට ශ්‍රී ලංකා මැදපෙළ හා ඉන්දීය පන්දු යවන්නන් එරෙහි වේ….. – Cricket Lanka | ක්‍රිකට් සිංහලෙන්
Home / විදෙස් පිටිය / කුසල් සහ තරංගගේ උත්සාහයට ශ්‍රී ලංකා මැදපෙළ හා ඉන්දීය පන්දු යවන්නන් එරෙහි වේ…..

කුසල් සහ තරංගගේ උත්සාහයට ශ්‍රී ලංකා මැදපෙළ හා ඉන්දීය පන්දු යවන්නන් එරෙහි වේ…..


ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දෝර්හි හෝල්කර් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි T20 තරගයෙන් ලකුණු 88 ක පහසු ජයග්‍රහණයක් ලැබූ ඉන්දීයාව අවසන් තරඟය ඉතිරිව තිබියදීම දෙරට අතර පැවැත්වෙන T20 තරගාවලිය 2-0 ක් ලෙස ජයගැනීමට සමත් විය.
ලකුණු 261 ක අසීරු ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම නැවත වතාවක් පන්දුවාර 20 තුල ක්‍රීඩා කිරීමටත් අසමත් වෙමින් පන්දුවාර 17.2 ක් අවසානයේ ලකුණු 172 කට දැවී ගියහ.පන්දුවාර 14 ක් අවසානයේ කඩුලු 2 කට ලකුණු 155 ක් ලබා සිටි ශ්‍රී ලංකාවවේ, ලකුණු 17 ක් ඇතුළත තවත් කඩුලු 7 ක් දැවී යෑම නිසා ලකුණු 200 සීමාව පසුකර යෑමට තිබූ අවස්ථාවද අහිමි විය.

ඉන්දීය පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දුයැවීමට වඩා ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දුර්වල පිතිහරබය හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන් 6 දෙනෙක්ම ලකුණු 10 සීමාව පසුකිරීමටත් මත්තෙන් ආපසු ක්‍රීඩාගාරය වෙත ගිය අතර ,පන්දු යවමින් සිටියදී පාදයේ ආබාධයකට ලක්වීම නිසා පිටියෙන් ඉවත්ව ගිය ඇන්ජලෝ මැතිව්ස්, පන්දුවට පහරදීම සඳහාද නොපැමිණීම ශ්‍රී ලංකා කණ්ඩායමට පාඩුවක් විය.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස පන්දු 19 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 25 ක් ලබා සිටි නිරෝෂන් දික්වැල්ල පිටියෙන් ඉවත් කිරීමට ජයදේව් උනාඞ්කට් සමත් විය. දික්වැල්ලගේ දැවීයෑමෙන් අනතුරුව උපුල් තරංග (47) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 53 කදී ලකුණු 109 ක සම්බන්ධතාවක් ගොඩනැගූ කුසල් පෙරේරා (77), ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තුවක් ගෙන ආවේය.

අර්ධ ශතකයට ලකුණු 3 ක් මෙපිටින් සිටි උපුල් තරංග, ලකුණු ලබාගැනීමේ වේගය වැඩි කිරීමට යෑමෙදී යුස්වින්දර් චාහල්ගේ පන්දුවක් හමුවේ ඔහු අතටම උඩ පන්දුවක් දෙමින් දැවී යාමත් සමග දෙවැනි කඩුල්ලේ සම්බන්ධතාව බිඳවැටුන අතර එතැන් පටන් ශ්‍රී ලංකා ඉනිමට තවත් ලකුණු 10 ක් එක්වන විට කුල්දීප් යාදව්ගේ පන්දුවක් හමුවේ මනීෂ් පාණ්ඬේ අතට උඩපන්දුවක් දෙමින් හොඳින් පන්දුවට පහර දෙමින් සිටි කුසල් පෙරේරාද දැවී ගියේ ජයග්‍රහණය පිළිබඳ තබා සිටි බලාපොරොත්තු සුනුවිසුණු කර දමමිනි.

පන්දු 37 කදී වාර්තා වූ කුසල්ගේ 6 වැනි විස්සයි20 අර්ධ ශතකයට දැවැන්ත හයේ පහර 7 ක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් වූ අතර පන්දු 29 කදී වාර්තා වූ තරංගගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් අන්තර්ගත විය.

ශ්‍රී ලංකා ඉනිම විනාශ කළ යුස්වින්දර් චාහල් සහ කුල්දීප් යාදව් පිළිවෙලින් ලකුණු 52 කට කඩුලු 4 ක් සහ 3 ක් බැගින් දවාගත්හ. සිය මුල් ඕවරවලදී තරංගගේ සහ කුසල්ගේ දැඩි ප්‍රහාරයට ලක් වුවද, අවසන් ඕවරවලදී ඔවුන් දෙදෙනාද ඇතුළත්ව පිතිකරුවන් 7 දෙනෙක් පිටියෙන් ඉවත් කිරීමට චාහල් සහ යාදව් සමත් වූහ.

රෝහිත් ශර්මා සහ ලෝකේෂ් රාහුල් එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ වාර්තාගත සම්බන්ධතාව හමුවේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 5 ක් දැවී ලකුණු 260 ක් රැස්කළේය. එය විස්සයි20 තරගයකදී කණ්ඩායමක් රැස්කළ දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව සම කිරීමක් වූ අතර 2007 වසරේදී ශ්‍රී ලංකාවද කෙන්යාවට එරෙහිව ලකුණු 260 ක් රැස්කර තිබිණ. 2016 වසරේදී ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 263 ක් රැස්කළ ඕස්ටේ්‍රලියාව එදා මෙදා තුර ඉහළම විස්සයි20 ඉනිමට හිමිකම් කියයි.

ඉන්දීය කණ්ඩායමක් T20 තරගයකදී රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව බවටද මෙම ලකුණු සංඛ්‍යාව පත්වූ අතර 2016 වසරේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව රැස්කළ ලකුණු 244 මින් පෙර ඔවුන්ගේ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන් විය.
එහිදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ නායක රෝහිත් ශර්මා (118) පන්දු 35 කදී සිය දෙවැනි T20 ශතකය සම්පූර්ණ කළේ වේගවත්ම T20 ශතකයේ වාර්තාවද සමකරමිනි. දුෂ්මන්ත චමීරගේ පන්දුවක් හමුවේ අකිල ධනංජය අතට උඩ පන්දුවක් දෙමින් දැවී යන විට පන්දු 43 කට මුහුණදී සිටි ශර්මාගේ ඉනිමට හයේ පහර 10 ක් සහ හතරේ පහර 12 ක් ඇතුළත්ව තිබිණ. මින් පෙර පන්දු 35 කදී ශතකයක් වාර්තා කර තිබුණේ ඬේවිඞ් මිලර් විසිනි. ඔහු මෙම වසරේදීම බංග්ලාදේශයට එරෙහිව එම වාර්තාව පිහිටුවා තිබිණ.

ශර්මාගේ දැවී යෑමෙන් අනතුරුව මහේන්ද්‍ර සිං දෝනි (28) සමග එක්ව පන්දු 35 කදී ලකුණු 78 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට ලෝකේෂ් රාහුල් සමත් විය. නුවන් ප්‍රදීප්ගේ පන්දුවක් හමුවේ නිරෝෂන් දික්වැල්ල අතට උඩ පන්දුවක් දෙමින් රාහුල් දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් විය. පන්දු 49 කට මුහුණදුන් රාහුල් හයේ පහර 8 කින් සහ හතරේ පහර 5 කින් සිය තෙවැනි විස්සයි20 අර්ධ ශතකය අලංකාර කළේය. පන්දු 21 කදී වාර්තා වූ දෝනිගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 2 කින් සමන්විත විය.
ශ්‍රී ලංකා පන්දු යවන්නන් සියලු දෙනාම පාහේ මෙම තරගයේදී දැඩි ලෙස පහර කෑමකට ලක්වූ අතර නායක තිසර පෙරරො සහ නුවන් ප්‍රදීප් එහිදී කඩුලු 2 බැගින් දවාගැනීමට සමත් වූහ.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක තිසර පෙරේරා පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ඉන්දීය කණ්ඩායමට ආරාධනා කර සිටියේය. පළමු තරගයට ක්‍රීඩා කළ වේග පන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු සහ තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක වෙනුවෙට ඉදිරි පෙළ පිතිකරු සධීර සමරවික්‍රම සහ තුන් ඉරියව් ක්‍රීඩක චතුරංග ද සිල්වා මෙම තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම කැඳවා තිබිණි.

ක්‍රිකට් ගැන හැමදේම ඉක්මනින් සහ නිවැරදිව බලන්න පුවතේ ඉහල දකුණු කෙලවරේ ඇති ” LKIE ” Button එක click කර අපගේ ෆේස්බුක් පිටුවට Like  කර අප සමඟ එක්වන්න.

*සමුගත් පොතාස් කියපු කථාව

*එක්දින ඉතිහාසයේ වැඩියෙන්ම Run-Out වුන ක්‍රීඩකයා කවුද?


About Isuru Weerarathna

Isuru Weerarathna

Digital Media Entrepreneur.

Check Also

තියුණු සටනකින් පසුව ඉන්දියාව කැන්ගරුවන් හමුවේ දණ නවයි…

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර බ්‍රිස්බේන්හිදී පැවැති පළමු විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ඩක්වත් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *